• වීථි නාට්‍ය දැක්ම

    පසුගිය දෙසැම්බර් 27 වන දින සෙනෙහස කලා පදනම සංවිධානය කළ වීථි නාට්‍ය සංදර්ශනය

  • සෙනෙහස මාසික සගරාව

    සෙනෙහස මාසික සගරාව එළිදැක්වීම පෙබරවාරි 19 වන දා කහපොළ පුබුදු පෙරපාසල් ශාලාවේ දී පැවැත්විණ.

  • සෙනෙහස සගරාව

    සෙනෙහස සගරාව සඳහා ඔඛේ දරුවාගේ නිර්මාණ අප වෙත එවන්න. ඒ සඳහා ඉඩ ලබා දීමට සෙනෙහස කලා පදනම සූදානම්ව සිටී.

Friday, February 15, 2019

හඳුනා ගත්තොත් ඔබ මා.....

කෙනෙකු එතරම් නොසිතන එනමුදු වඩා බරපතළ සමාජ ප්‍රශ්නයක් ලෙස ළමා සමාජය පිළිබඳ අවධානය අවම වීම දැක්විය හැකි ය. වර්තමානයේ දී ළමයා පරිහානිය කරා ගමන් කිරීමේ සීඝ්‍රතාව වැඩි වෙමින් පවතී.

ඒ පිළිබඳ අවධානය යොමු කර ළමා මනස පිළිබඳ අවබෝධයෙන් සරල ලිපි පෙළක් බොහොම සෙනෙහසින් ලිවීමට හිතුවා. මෙහි සඳහන් කාරණා බැලු බැල්මට ඉතා සරල සුළු කාරණා ලෙස ඔබට පෙනී යාමට පුළුවනි. දන්නවා ද අප නොහිතා බැහැර කරන සුළු කාරණා යනු අතිශයින් ම වැදගත් වන ප්‍රබල කාරණා විය හැකි ය. 

මෙහි ආමන්ත්‍රණය අපේ ම ආදර දෙමාපියන් වන ඔබට ය.

ඔබ දන්නවා ශ්‍රී ලංකාව ගැන. අටුවා ටීකා කුමටද තව. පාරිසරික ,කාලගුණික, සෞන්දර්යාත්මක හා යටිතල පහසුකම්වලින් අප ඉන්නා තැන දෙස බලන්න. එසේ බැලු කල අපේ රට තරම් සුන්දර රටක් නැතැයි ඔබට ම හිතෙන්ට පුළුවන. සැබවින් ම ඒ සියල්ල සත්‍යයකි.
ඔබ දන්නවා ද ...

  •  යොවුන් වියේ ගැබ්ගැනීම් 5.3% ,
  •  ජාතිවාදී අරගල පැවතීම
  •  සියදිවි හානි කරගැනීම්.
  •  විස්කි බ්‍රැන්ඩි පානය කෝටි  

විසිතුනක් වසරක් තුළ
ඉහත කී දෑවලින් ද අපි අන් රටවල් පරයා නැගී සිටිනවා.
ඉතින් එය එසේ වන්නේ කෙසේද ...
ඔන්න ඔබ නිතර ම මැසිවිලි නගන කාරණා කිහිපයක්.

  •  කියන දේ අහන්නෑ
  •  පෝන් එකේමයි
  •  පාඩම් කරන්නෑ
  •  නිදිමත එනවා
  •  කෙල්ලෙක් යාළු කරගෙන 
  •  පෝන් එකක් ඉල්ලල
  •  ගහන්න  එනවා...
  •  මල්ලි පේන්න බෑ 

ඉන් එක් කරුණක් ගන්නම්.
පෝන් එකක් ඉල්ලලා ගහන්න එනවා...
ළමයෙක් අම්මට ගහන්න එනවා නම් ඒ ළමයා කොතරම් නරක ද ...ඌ නම් මාරයෙක්. එහෙමනේ  ඔබ හිතන්නේ...නෑ මීට වඩා එහා ගිය කාරණයක් මේක, සියුම් ලෙස විමසා බැලිය යුතු.
මේක අහන්නකෝ...
අම්මා ටී වී බලනවා. චූටි පුතා බඩගිනි වෙලා ළ`ගට එනවා.
අම්මේ, බඩගිනි.
ඇයට නෑසේ...
අම්මේ බඩගිනි ...
ඒත් නෑසේ ...
මහ හයියෙන් ඔහු කෑගසයි...
මොන මළ ඉලව්වක් ද දන්නෑ .
මව ඛෙරිහන් දෙයි.
අනතුරුව මව දරුවා ළ`ගට ගොස් දරුවාට බිස්කට් එකක් දෙයි.
ආ මේක කන්න...
ඇය කෙතරම් පහසුවෙන් කරන්න තිබුණු වැඩක් නොකරන්නේ. 
දරුවා උගන්නේ කුමක් ද ...
අම්මට ගැහුවොත් තමයි මට දෙයක් ලැඛෙන්නේ...
එහෙනම් දැන් ලොකුවෙලත් ඔහු යමක් ඉල්ලන්නේ එසේ නොවේද ...?
ඔහු මවට ගසා හෝ පෝන් එක ගනී. මවටත් එය අරන් දීමට සිදුවෙයි...
ඉතින් මේ පුංචි කාලයේ ඇගෙන් වූ නොසැලකිලිමත්බව කෙතරම් භයානකයි ද ..?
ඔබත් මෙවැනි දේ කොපමණ කරනවා ද ...?
මොළයේ උපාගම සීයට අනූවක් හැදෙන්නේ අවුරුදු පහ වන විට. ඒ කාලය කියන්නේ දරුවාගේ සම්පූර්ණ අනාගතය .ඒ කාලයේ සියල්ල අනාගතයේ බලපායි. දරුවා හදනවා කියා විනාශ කරන්නෙත් ආදරනීය දෙමාපියන් ම නේද ?
අපි තව කතා කරමු...
මතුවට බැඳේ...

සටහන
මනෝජ් ප්‍රසන්න

බාධක සැම බිඳ ජය කෙහෙලි නැංවූ කහපොළ ශ්‍රී පඤ්ඤානන්දය

වලාකුළෙන් තොර අඹර මෙන් නීල වර්ණයෙන් පිරි දිය දහර රැගත් බොල්ගොඩ ගං කොමළිය නිසොල්මනේ ඇදී ගියේ කහපොළ ගම් පියසේ  සුන්දරත්වය තව තවත් නංවමිනි. කළු ගෙඟ් අතු ශාඛාවක් වූ ගමට දකුණුපසින් ගමන් කරන නදිය කළුතර හා කොළඹ දිස්ත්‍රික් ද්විත්වය වෙන් කරයි. එදා එතරම් ජනගහනයක් ජීවත් නො වූ ගණ කැලෑවෙන් ගහන වටපිටාවකින් හෙබි හුදකලා ගම්මානයක් වූ කහපොළ අද, කහපොළ හා රෙජිඩේල්වත්ත නම් වූ ග්‍රාම නිලධාරී කොට්ඨාස ද්විත්වයකින් සමන්විත 4000 කට ආසන්න  ජනගහනයක් වෙසෙන කොළඹ දිස්ත්‍රික්කයේ කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමයකි.

එවක කැලෑබදව පිහිටි ගමේ විහාරස්ථානයේ භික්ක‍ෂූන් වහන්සේ නමක් නොවීය. මෙම ගැටළුවට විසඳුමක් වශයෙන් ගමේ දායක පිරිස එකතුව ගොස් එවකට වලානේ ශ්‍රී සරණපාලාරාමාධිපතිව වැඩ විසූ විචිත්‍රභාණක සද්ධර්මාචාර්ය වලානේ ශ්‍රී ධම්මානන්ද අධිකරණ නායක හිමිපාණන් වහන්සේ වෙතින් කහපොළ විහාරස්ථානයට ස්වාමීන්වහන්සේලා දෙනමක් වැඩමකරවා දෙන ලෙස ඉල්ලීමක් කරන ලදී. වලාන විහාරස්ථානයේ කිසිඳු හිමිනමක් ඒ ආරාධනාව පිළිගැනීමට කැමති නොවූ හෙයින් නායක හිමිපාණන් මහත් අපහසුතාවට පත් විය. නායක හිමියන් පත්ව සිටි අපහසුතාවය දුටු කොරලන්පොත්තතේ ශ්‍රී පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේ කහපොළ ග්‍රාමයේ වූ මේ කැලයෙන් වට වූ විහාරස්ථානය වස් විසීම සඳහා තෝරා ගත්තේය. වර්ෂ 1927 දී සිදු වූ උන්වහන්සේගේ එම ආගමනයෙන් විහාරස්ථානයට මෙන් ම ගමේ භෞතික සමාජයීය මෙන් ම ගැමියන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයේ නව ආරම්භය වූ බව ගමේ පැරැන්නෝ පවසති. අද කහපොළ ඇති සංවර්ධනයේ ගෞරවය නිතැතින් හිමිවිය යුත්තේ උන්වහන්සේට ය.

බොහෝ කම්කටොළු රැසකට මුහුණදෙමින් ගම දියුණුව කරා ගෙන යන ගමනේ දී පාඨශාලාවක අඩුව විශාල ප්‍රතිරෝධයක් බව උන්වහන්සේට අවබෝධ විය. එහි මූලික අඩිතාලම ලෙස ගමට පාසලක් ලබා දෙන ලෙස වර්ෂ 1929 අගෝස්තු 19 වන දින උන්වහන්සේ එවක කොළඹ මහ දිසාපතිතුමන්හට පෙත්සමක් මගින් දැනුම් දුන්හ. එවක බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති මෙරට සාමාන්‍ය වැසියන්ගෙන් විවිධ අය බදු එකතු කරමින් පීඩාකාරී පාලනයක් ගෙන ගිය සමයකි. මාස කිහිපයක් ඉකුත් විය. පෙත්සමට පිලිතුරන් නොවූ තැන පඤ්ඤානන්ද හිමියන් තම දායක පිරිස කැටුව අවිහිංසාවාදී සටනකට පණපෙවී ය. ගමට පාසලක් ලබා දෙන තුරු තමන් ඇඟ බදු නොගෙවන බව පවසමින් පඤ්ඤානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් එවක මහ දිසාපතිතුමාට 1930 අප්‍රේල් 29 දින පෙත්තමක් මගින් දැන්වි ය. වර්ෂ 1930 මැයි 22 වන දින මෙම පෙත්සම විභාගයට ලක්කළ අතර එවක කොළඹ උප දිසාපති වූ ඊ. ඩබ්. කන්නන්ගර මහතා විසින් කහපොළ ගමට පාසලක් ලබා දීමට තීරණය කළේ ය. සතුටින් පිනාගිය ගම් වැසියන් එවක නාපිරිත්ත ලන්ද නමින් හැඳින් වූ ඉඩම පාසලට පරිත්‍යාග කරීමට ඉදිරිපත් විය.

කහපොළ ග්‍රාමයේ ස්වර්ණමය සංධිස්ථානයක් තබමින් වර්ෂ 1934 අගෝස්තු මස 1 වන දින ගරු කෝරළන්පොත්තේ ශ්‍රී පඤ්ඤානන්ද හිමියන් විසින් කහපොළ කනිෂ්ඨ විද්‍යාලය ඇරඹීය. කහපොළ මෙන්ම ඒ අවට සිසු දරුකැලගේ නැණ හසර පෑදූ කහපොළ කනිටු විදුහලේ ප්‍රථම විදුහල්පතිවරයා වූයේ එච්. ආර්. ප්‍රනාන්දු මහතායි. ඉන් අනතුරුව සූරසේන, පී.ඩී.බී. අබේසේකර, පී.සී. පෙරේරා, පී.ඩී.ඊ. පෙරේරා, කේ.ඩී. සීමොන්, කේ. ඩී. සමරසිංහ, එච්. ඩී. සිරිසේන, ඩබ්.ඩී. සිරිසේන, පී. වෛද්‍යවික්‍රම, කේ.බී.එල්. ගුණසේකර, ඒ.එන්.ඒ. පෙරේරා, ඩී.එම්.කේ. දිසානායක, කේ.ඒ. ඩී. චන්ද්‍රසිරි, පී. කේ. සුමනදාස, එන් දසනායක ගුරු පියරුන් පාසල් පිංකෙත පෝෂණය කරන්නට තම ගුරුමණ්ඩලය හා එක්ව කටයුතු කළේය.

නොයෙක් හැලහැප්පීම්වලට භාජනය වූ කහපොළ කණිටු මව වර්ෂ 2003 වන විට වැසී යාමේ තර්ජයට මුහුණ දුනි. පැවති තත්ත්වය යටතේ ගැමියන් තම දරු දැරියන් අවට හා පිළියන්දල නගරයේ පිහිටි පාසල්වලට යොමු කරවී ය. පාසලට පැමිණීමට කිසි විදුහල්පතිවරයෙකු අකමැති විය. එවන් අවස්ථාවක වැඩබලන විදුහල්පතිවරයකු ලෙස පාසලට පැමිණි වෛද්‍ය වසන්ත රුක්මාල් ගුරු පියාණන් නැවතත් අද ගෙවන පාසලේ ස්වර්ණමය යුගය ඇතිකරන්නට පෙරමුණ ගත්තේ අතළොස්සක් වූ ගුරු මණ්ඩලය හා 117 ක් වූ සිසු පිරිස සමඟය. දිනෙන් දින පියවරෙන් පියවර ඉදිරියට පා තැබූ විදු පියස වර්ෂ 2008 දී තම ආදි කතුවන අතිගරු කෝරළන්පොත්තේ ශ්‍රී පඤ්ඤානන්ද හිමිපාණන් වහන්සේට කරන ගරු කිරීමක් වශයෙන් කහපොළ ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය ලෙස නම් විය. zzආපදාන සෝභිනී පඤ්ඤාZZ ආදර්ශ පාඨය කර ගනිමින් එදා කණිෂ්ඨ පාසලක් වූ එය අද පළමු ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්වා දරු දැරියන් 600 ආසන්න ප්‍රමාණයකගේ නැණ හසර පාදයි.

අසූපස් වියට පා තබා ඇති පිළියන්දල අධ්‍යාපන කළාපයේ ඉහළින් වැජඛෙන ශ්‍රී පඤ්ඤානන්ද විදුමව මේ වන විට නැණ ගුණ සපිරි දරු පිරිසක් දැයට බිහි කරීමට සමත්ව ඇත. නොයෙක් විෂයානුබද්ධ මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් හි දී නගරයේ පාසල් පරයා ඉදිරියට පැමිණීමට අද වන විට පඤ්ඤානන්දයේ දරුවන් සමත්ව ඇත. කොට්ඨාස, කලාප, පළාත් හා දීපව්‍යාප්ත මට්ටමේ තරඟ ජයග්‍රහණයන් නිරන්තරයෙන් පඤ්ඤානන්ද දරු දැරියනට හිමිය. ගහකොළින් පිරුණු පාසල් පරිසරය නිරන්තරයෙන් පරිසර හිතකාමීන්ගේ ඇගයීම්වලට ලක්වෙති.

තම පෞද්ගලික උවමනා එපාකම් පසෙක ලා දරු දැරියනගේ අනාගතය හෙළි පෙහෙළි කරන්නට ගුරු මව්පියන් කරන මෙහෙය අපමණය. පඤ්ඤානන්දයේ එතෙක් මෙතෙක් දරු දැරියනගේ නැණ හසර පාදන ගරු විදුහල්පතිවරු ඇතුළු ගුරු මව්පියන් සිහිපත් කරන්නේ ඉතාමත් හද බැතියෙනි. එදා පඤ්ඤානන්ද හිමියන් දුටු ආනන්දය අද ගමට පමණක් නොව මුළු රටටම දායාද කරමින් වැදූ මව සේ තම දරු කැළට ආදරය කරුණාව ලබා දී නැණවත් ගුණවත් දරු පිරිසක් ලොවට දායාද කිරීමට කහපොළ ශ්‍රී  පඤ්ඤානන්ද විදුමවට තවතවත් ශක්තිය ධෛර්‍යය වාසනාව ලැබේවා යි පතමු.

සටහන
හිරුණී හංසිකා


ඔබ මා දිවි ගෙවන වත්මන සතුටු දායක ද?

මෙම විමසුමට පිළිතුරු සැපයීම දුෂ්කර ය. සමාජය රුදුරු සැහැසි ක්‍රියාවන්ගෙන් ගහන වී තිබේ. පවතින අයහපත සමනය කළ යුත්තෝ භීතියට පත් ව සිටිති. මේ සඳහා වන විසඳුම් සෙවීමේ අභියෝගය භාරගත යුතුය. අතීතය පුරා වරින්වර රාව ප්‍රතිරාව නැංවූවකි.


මෙය නීතිය බලගැන්වීමෙන් කළ හැකියි යන්න විශ්වාස කරන පිරිසකි. එය පූර්ණ සත්‍යයෙන් බැහැර පිළිගැනීමක් වේ. සමාජ සමනයට සංවේදී පිරිසක් තැනිය යුතු ය. මෙහිලා ආකල්ප දිගුවකට ප්‍රවේශවීම කඩිනම් අවශ්‍යතාවකි. අදාළ භාවිතයට තෝරාගන්නා මාධ්‍ය විවාදාත්මක ය.

මේ චර්යාමය වෙනස කිරීම පාසලකට අත්හළ නොහැකි වගකීමකි. පසුකල හතළිස් පස් වසක ප්‍රායනය නිශ්ඵලය. නිශචිත නිපුණතා අත්කර දීමේ විෂය මාලාව ගැටළු සහගත වේ. අපට අවැසි පුරවැසි අධ්‍යාපනය පරිනත වී නොමැත. මේ සඳහා අධ්‍යාපනඥයින්ගේ මැදිහත්වීම ප්‍රමාණික නොවේ.

නිර්මාණකරණයේ තිඹිරි ගෙය වූයේ පාසලයි. කිවියන්, ලේඛකයන්, නාට්‍යකරුවන්, නර්තන ශිල්පීන් විශාල ලෙස ජනගත විය. සිංහල භාෂාව හා සාහිත්‍ය විෂය සිදුකළ ප්‍රායෝගික ප්‍රාතිහාර්යකි. ඔවුන්ගේ නිර්මාණ මානව පැවැත්මේ යහපත උදෙසා විය. මිනිසුන් මුහුණ දෙන සංකීර්ණ ගැටළු නිර්මාණ තුළින් සංවාදයට ලක් කළෝ ය. පිටු සීමා මායිම් අතික්‍රමණය කරමින් මානව දයාව හදවත් තුළ ගොඩ නැගී ය. එකින් එකා හුදකලා නොවූ අතීත ශික‍ෂණය එම සමාජ ක්‍රමයේ රහසකි.

සම්භාව්‍ය සාහිත්‍යවේදීන් බහුතරයක් බිහි වී තිඛෙන්නේ් පාසලෙනි. මාර්ටින් වික්‍රමසිංහ, ශ්‍රී චන‍ද්‍රරත්න මානවසිංහ, පී.බී. අල්විස් පෙරේරා, ඩබ්.ඒ. සිල්වා, ජී.බී. සේනානායක ඉන් කිහිප දෙනෙකි. සාගර පලන්සූරිය, ජී.එච්. පෙරේරා රැපියල් තෙන්නකෝන්, මුණිදාස කුමාරතුංග යන වියත් සාහිත්‍යධරයෝ පාසල් ආභාස ගුරු විද්‍යාලයෙන් ඔපවත් කර ගත්තෝය.

පාසලේ සාහිත්‍ය සතක අභ්‍යාසයන් සරසවියෙන් ඔපවත් කරගත හැකිය. රසෝත්පාදනයේ ප්‍රමුඛාලෝකය පාසලෙන් උපයාගත යුක්තක් වේ. එම නිසා සරසවිවලින් බැහැරව බිහි වූ ඉහත සාහිත්‍යවේදීන් සුවිශේෂිතය. ඔවුන්ගේ නිර්මාණ විශ්ව විද්‍යාල විද්‍යාර්ථයින්ගේ අධ්‍යනවලට බඳුන් වේ. එමගින් සිය සාහිත්‍ය නිර්මාණ වල දාර්ශනික වටිනාකම අවබෝධ කරගත හැකිය.

වර්තමානයේ ද ඉහත කුලකයට අයත් කලාකරුවන් විරල නොවේ. පරාක්‍රම කොඩිතුවක්කු. මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, එවැනි ප්‍රතිභාවයන්ගෙන් යුත් සාහිත්‍යවේදීන් ය. මෙම පූර්වාදර්ශයන් පාසල් නියමුවන්ට පෙනෙන නොපෙනෙන සේ ය.

වර්තමාන පාසලේ සිංහල භාෂාව හා සාහිත්‍ය වේ. මාධ්‍ය හා සන්නිවේදනය යනුවෙන් ද විෂයක් වෙයි. මෙම විෂය ගුරු භූමිකාවන් විභාග ගත ඉලක්කයන්ට සීමා වී ඇත. විද්‍යාර්ථ විභවශක්තිය සමාජ කේන‍ද්‍රීයභාවයෙන් මිදී ගොස් ය. මෙම තත්වය සංවේදී බව ගිලිහුණු යාන්ත්‍රික සමාජ භාවයකට හේතු වේ. පවතින පසුබිම සාහිත්‍ය ප්‍රවර්ධනයට පහසුකම් සපයන්නක් නොවන බව පැහැදිලිය. මෙම රළු රික්තය අනෝ්‍යන්‍ය සංහිදියා සහජීවනයට ප්‍රභල බාධාවකි.

රටේ කොතනක හෝ කලා සංවිධානයක් කලඑළි බැසීම මංගල ප්‍රවේශයකි. මක් නිසාද යත්, කලාවේ හා සාහිත්‍යයේ සංවිධිතභාවක් ඇති වන බැවිනි. එහි ගැවසෙන්නන්ගේ සතතාඅභ්‍යාස නිසා කලාවේ විශ්ව මානයක් හඳුනාගත හැකිය. ඉන් මතුවන පරිකල්පනයක් නිර්මාණ ලෙස සමාජගත වනු ඇත. එවැන්න යළි මානුෂවාදී සමාජයක් උදෙසා ඇතිවන සංවාදයක් නොවන්නේ ද?

සටහන
වෛද්‍ය ලක‍ෂ්මන් වසන්ත රුක්මාල්

Friday, February 1, 2019

සෙනහසේ මැදිහත්වීමෙන් කහපොළ පුස්තකාලය විවෘත කිරීම පෙබරවාරි 09


පිළියන්දල, කහපොළ, රෙජිඩේල්වත්ත පුස්තකාලය පෙබරවාරි 09 වන දින රෙජිඩේල්වත්ත ප්‍රජා මණ්ඩල ශාලාවේ දී උත්සවාකරයෙන් සිදු කිරීමට සියලූ කටයුතු සංවිධානය කර ඇත. මීට ඉහත ප්‍රජා මණ්ඩලය විසින් කැස්බෑව නගර සභාව හා එක්ව පුස්තකාලයක් විවෘත කළ ද එය, ඉතා කෙටි කලකින් වසා දැමිණි.
ප්‍රදේශයේ දුවා දරුවන් හට කියවීම සඳහා පොත් ලබා ගැනීම උදෙසා පිළියන්දල නගර සභා පුස්තකාලය වෙත යාමට සිදු විණ. කළක් තිස්සේ පැවති මෙම දුෂ්කරතාව දුටු සෙනහෙස කලා පදනම හා සෙනෙහස ළමා සමාජය එක්ව, අධ්‍යාපනය හදාරන ප්‍රදේශවාසී දුවා දරුවන්ට වන එම දුෂ්කරතාව මග හරිමින්, ඔවුන්ගේ අධ්‍යාපනයට අත්වැලක් සපයමින්, මෙම පුස්තකාලය විවෘත කිරීමට කටයුතු සංවිධානය කළේ ය. පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් පුස්තකාලයට අවශ්‍ය පොත් පත් බොහෝ ප්‍රමාණයක් එකතුකර ගැනීමට ද සෙනෙහස කලා පදනමට හැකියාව ලැබිණි.

මීට අමතරව ඉදිරියේ දී දරුවන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීම වෙනුවෙන් මෙන් ම, ළමා මනස ශක්තිමත් කරමින් ශවුන්ගේ හැකියාවන් වර්ධනයට අත්වැල සපයමින් නැණවත් සේ ම ගුණවත් දරු පරපුරක් දැයට දායාද කරනුවස් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෙනෙහස කලා පදනම කටයුතු සැලසුම් කර ඇත.

සටහන
සංඛ ලියනගේ